වෙනදේ සහ කලයුතු දේ.
>> Friday, April 2, 2010
වෙනදේ සහ කලයුතු දේ.
මා විසින් පෞද්ගලිකව අත්දැකපු දෙයක් ඇසුරෙන් ඉහත කරුණ ගැන මෙම සටහන තබනවා. මෙම සිදුවීම මෙයට වර්ෂ කීපයකට පෙර මා පෞද්ගලිකව මුහුණ දුන් අත්දැකීමක්. වර්ෂය මට මතක හැටියට 1996. මාත් තවත් මිතුරන් පිරිසක් නුවර යම් කාරියක් සඳහා ගොස් එය අවසන්වී නැවත කොළඹ පැමිණීම සඳහා මහනුවර නගරයට පැමිණියා. ඒ වන විට මධ්‍යම රාත‍්‍රියට ආසන්න වී තිබු අතර කොළඹට පැමිණීම සඳහා බස් රථ තිබුණේ නැහැ. එම නිසා අප නුවර දුම්රිය ස්ථානයට පැමිණ කොළඹ බලා එන දුම්රියක් ගැන විමසූ විට බදුල්ලේ සිට කොළඹ බලා එන දුම්රිය රාත‍්‍රී 1.30 ට පමණ නුවරට පැමිණෙන බව දැන ගන්නට ලැබිණි. ගමන් වෙහෙස නිසා මාගේ සගයන් නුවර දුම්රිය ස්ථානය ඉදිරියේ කොරිඩෝවේ වාඞී වූ අතර ඇතමුන් නිදා ගත්තායැයි කියුවොත් නිවැරදියි. දුම්රිය ස්ථානයට ඇතුළු වීමට ඒ වන විට ගේට්ටු විවෘත කර තිබුනේ නැහැ. ඒ අවස්ථාවේ මා දුම්රිය ස්ථානය ඉදිරිපිට ඇවිදිමින් සිටි අතර එම ස්ථානයට පැමිණි කාරයකින් අවු:15-16 පමණ තරුණියක් බස්සවා එම රථය පිටව යනු මට මතකය. ඇය මෙහෙකාර සේවයේ නියුතු දෙමළ තරුණියක් බව ඇය දෙස බැලූ විට මට වැටහුණි. ඇය දුම්රිය ස්ථානය තුලට ඇතූලූවන ගේට්ටුව සමීපයේ නුහුරු ගතියකින් සහ භයෙන් මෙන් ඉද ගන්නා අයුරු මට හොදට මතකයි. මේ වන විට මෙම ස්ථානයේ සෙනඟ 100 ක් පමණ සිටි අතර ඔවුන් අතර ද්‍රවිඩ ජාතික පිරිස්ද විය. ටික වේලාවකට පසු යම් ශබ්දයක් දුම්රිය ස්ථානයට ඇතුලූ වන ස්ථානයෙන් ඇසූනු අතර මාත් ඒ වන විට මා සමඟ සිටි මිතුරෙක් එම ස්ථානයට ගොස් එය විමසා බැලීය. දුම්රිය සේවකයන් යැයි සිතිය හැකි කීප දෙනෙක් සමඟ තරුණයෙක් යම් ආරාවුලක පැටලී සිටින බව අපට දැක ගන්නට ලැබුණි. මට මේ වන විට එම තරුණයාගේ මුහුණ මතක නැති අතර ඔහු ඉතා කෙසඟ, මුහුනේ යම් පමණකට රැුවුල ටිකක් වැවී තිබූ ගමන් බෑගයක් ඇතිව සිටි බව මතකය. මම ඔහුගෙන් එම ආරවුලට හේතුව විමසූ අතර ඔහු පැවසූ වේ, මා පෙර සඳහන් කළ තරුණිය බලහත්කාරයෙන් දුම්රිය ස්ථානය තුලට ගැනීමට එහි සේවක පිරිසක් කටයුතු කර තිබේ. මේ අවස්ථාවේ එය දැක ඇති දෙමළ යුවලක් එම තරුණියට තමන් අසලට පැමිණෙන ලෙස දන්වා දුම්රිය සේවකයන්ට තම විරෝධය දක්වා ඇත. මෙහිදී පැමිණ ඇති දුම්රිය සේවකයන් අර දෙමළ මනුස්සයාට පහරදී තිබේ. මෙය දුටු මෙම තරුණයා මෙම කරුණ සම්බන්ධයෙන් විරෝධය දක්වා ඇති අතර දුම්රිය සේවකයන් ඔහුටද පහරදීමට උත්සාහ දැරීම මෙම අරාවුලට හේතුව බවය. මෙය දැන ගත් අපිද දුම්රිය සේවකයන්ට විරෝධය දක්වා ඔවුන් සමඟ ගැටුම්කාරී තත්වයක ඇති වුනු අතර එය ඇසී නිදා සිටි අප මිතුරන්ද එම ස්ථානයට පැමිණි අතර දුම්රිය සේවකයන් අතර ගාඞ්වරු යැයි සිතිය හැකි පිරිසක්ද පැමිණියේය. දැන් දුම්රිය ස්ථානයේ එකම කාල ගෝට්ටියකි. මෙහිදි මෙය බලා සිටි ජනතාව සියලූ දෙන එකා වන්ව දුම්රිය සේවකයන්ගේ පහත් වැඩෙට විරෝධය පල කල අතර අර දෙමල තරුණියගේ සහ මිනිසාගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටි සුන්දර අවස්ථාව මට කිසිදා අමතක නොවේ. ඇතැම් වයසක උදවිය පවා එම අවස්ථාවේ හැසිරුණු උද්වේගතර බව ඇදහිය නොහැක. මෙවැනි ගැටුමකදී වෙන අනිවාර්ය දේ වන ජාතිවාදය ඇවිස්සීමට දුම්රිය සේවකයන් අතර සිටි තැනැත්තෙක් ඉදිරිපත් වූ අයුරු පිලිකුල් සහගතය. ඔහු සුදුපාට යුනිපෝම් එකක් ඇද සිටි නිසා උපස්ථානාධිපතිවරයෙක් ලෙස මට සිතුණි. ඔහු ප‍්‍රකාශ කලේ ඔහුගේ පුතා වවුනියාවේදී ගැටුමකින් මිය ගොස් ඇති බවත් තමන් දෙමලූන්ට වෛරය කරන බවත්ය. එහෙත් දෙමළ තරුණිය ඇතුලට ඇද ගන්න හැදුවේ ඔය චේතනාවෙන්මද කියා අප විමසු වීට ඔහු නිශ්ශබ්ද වූ අතර එම ස්ථානයේ සිටි ජනතාවගේ විරෝධයෙන් ඔහු ගලවා ගැනීමට දුම්රිය ගාඞ් වරුන්ට ඔහුව ඉවතට රැුගෙන යාමටද සිදු විය. මිනිසුන්ගේ විරෝධය හමුවේ පහරකෑමට සිදුවන බව දුටු සේවකයන් පසු බැස ගිය අතර පසුව අප සියලූ දෙනා දුම්රිය පැමිණි පසු කොළඹ ඒමට පිටත්වූ අතර දෙමළ මිනිසා ප‍්‍රකාශ කලේ සිංහල මිනිසුන් තමාව බේරා ගත් බවය. අසාධාරණ වැඩ වලට විරුද්ධවීමට සිංහල හෝ දෙමළ බේදයක් නොතිබිය යුතු බව අප ඔහුට ප‍්‍රකාශ කරනු ලැබීය. ඉන් දින කීපයකට පසු මහනුවර දුම්රිය ස්ථානයේ තම පෙම්වතා සමඟ සිටි පාසැල් ශිෂ්‍යාවක් ඇදගෙන ගොස් දුෂණය කිරීම සම්බන්ධව දුම්රිය සේවකයන් කීප දෙනෙක් අත්අඩංගුවට ගත් පුවතක් දිනපතා පුවත්පත් වල පල විය. එය දුටු මට සිතුනේ අර තරුණයා නොසිටියා නම් අර දෙමළ තරුණියගේ ඉරණම කුමක් විය හැකිව තිබූණේද යන්නයි.
මේ සටහන කියවන ඔබට මා යොදා ඇති මාතෘකාව හා මෙම කතාව ගැලපෙන්නේ කෙසේදැයි සිතෙනු ඇති. මදක් සිතා බලන්න. අර තරුණයා තමන්ට එම අවස්ථාවේ සිදුවූ සිදුවීමට විරුද්ධවීමෙන් විය හැකි දේ ගැන සිතුවාද?, එසේ නැතිනම් එම අවස්ථාවේ තමන් කල යුතු දේ ගැන සිතුවාද?. දැන් ඔබට මම මේ අත්දැකීම සඳහන් කල හේතුව සිතා ගැනීමට හැකියි. මට එම සුන්දර මිනිසාගේ මුහුණ මේ වන විට මතක නැහැ. එහෙත් ඔහුගේ ශරීර ප‍්‍රමාණය මතකයි. ඇත්තටම ඔහු කැහැටු පුද්ගලයෙක්. අර ගාඞ්ලා එක්ක ඔහු එවැනි අවස්ථාවක ඒ විදිහේ ගැටුමක් ඇති කර ගැනීම හිතා ගන්නටත් බැහැ. විය හැකිව තිබුදේ ඔහු හොඳට පහර කෑමට ලක් වන එක. ඒත් ශරීරයෙන් නොවුනට මනසින් ඔහු යෝදයෙක්. තමන්ට වන දේ ගැන ඔහු සිතුවේ නැහැ. සිතා බලන්න උතුරේ යුද්දය ඇවිලෙන 1996 වගේ කාලෙක, ජාතිවාදය සඳහා සරු පසක් තිබෙන මොහොතක තමන්ගේ සහයට කවුරුත් නැති අවස්ථාවක ඔහු අසාධාරණයට විරුද්ධව තනීයම පෙනී සිටීම ගැන.තනීයම සටන පටන් ගැනීම ගැන. අන්න ඒකට තමයි කියන්නේ තමන්ට වෙනදේ ගැන සිතනවාට වඩා තමන් කලයුතු දේ ගැන සිතීම තමයි නියම කාර්යය කියලා. ඔහු එසේ කටයුතු කලා. ඇත්තෙන්ම ඔහු තනි වුනෙත් නැහැ. අවශ්‍ය වෙලා තිබුණේ සටන ආරම්භ කරන එක විතරයි. එවිට පිරිස එකතු වෙන එක වලක්වන්න බැහැ. හැබැයි ආරම්භය අවංකව දැනුවත්ව වෙන්නෙ ඕනේ.
ඇත්තෙන්ම ඔහු සමඟ එම සිදුවීමට පසුව කතා කරන්නවත් බැරි වුණා. ඒ සෙනඟ අතර ඔහු සැඟවිලා ගිහින් තිබුණා. ඒත් එම සිදුවීම එම තරුණයා මගේ ජීවිතයට කරපු බලපෑම විශාලයි. මිනිස්සුන්ගේ හැඟිම් හරියට හැසිරවූවොත් යහපතට යොදා ගත හැකි බව මට විශ්වාසයක් ඇති වුණ දිනය එදා. බලන්න ජාතිවාදය අවුස්සන්න හදපු වේලාවේ මිනිස්සු ඒක පිලිගත්තේ නැහැ. ඒ ජාතිවාදයෙන් වහගන්න හදපු දේ, ඔවුන් කරන්න ගිය අපරාධය මිනිස්සු දුටුවා. දුටුවා විතරක් නොවෙයි ඒකට විරුද්ධ වුනා සහ ඒ වෙනුවෙන් සටන් කරන්නත් සූදානම් වුනා.
ඉතිං අද අප ජීවත් වන සමාජයේ මේ විදිහේ අසාධාරණ වැඩ කොපමන සිදුවනවද. මේවා බල බලා ඒවට විරුද්ධ වුනොත් තමන්ට මෙහෙම වෙයි කියා නිශ්ශබ්ද ඉන්න පිරිස කොපමණද, එසේම තමන්ට වන දේ ගැන නොසිතා කල යුතු දේ ගැන සිතා කටයුතු කරන පිරිස් කොපමණද?. රටට හෙන ගැහුවත් මට මොකද කියා සිතන මිනිසුන් නිසාද සමාජය පවතින්නේ එහෙම නැත්නම් තමන්ට වෙන දේ ගැන නොසිතා රට වෙනුවෙන්, මිනිසුන් වෙනුවෙන්, මිනිසුන්ගේ අයිතීන් වෙනුවෙන්, කටයුතු කරන. කතා කරන, ලියන, මිනිසුන් නිසාද කියලා හිතලා බලන්න. එසේ කටයුතු කරන මිනිසුන්,ගැහැණුන් ගැන ප‍්‍රශසස්ති ගීත, වර්ණනා, සම්මාන, අගයීම් නෑ තමයි. ප‍්‍රදර්ශන වැඩ නෑ තමයි. ඒ නිසා එහෙම අය නෑ වගේ තමයි පේන්නේ. නිවරුදි දේ කරන්නට කටයුතු කලොත් තමන් තනි වෙයි කියා සිතන්න පුරුදු කරන එක තමයි අද වැඩියෙන්ම කෙරෙන්නේ. හේතුව තමයි අපි ජීවත් වන සමාජය පාලකයන් විසින් ඔවුන්ට අයිති මෙවලම් මාර්ගයෙන් ඔවුන්ට ඕනේ ආකාරයට හැසිරවීම. අත්මාර්ථකාමී, මමත්වයෙන් පිරුණු පුද්ගලයන් බිහි කරන්න දැනුවත්වම කටයුතු කරනවා.
අපේ රට සමාජය ඇත්තටම හැඩ ගැහිලා තිබුණේ මමත්වය, ආත්මාර්ථකාමීත්වයෙන්ද?. නැහැ, පුරාණයේ අපේ සමාජයේ හැම දේම හැඩනැගිිලා තිබුණේ සාමූහිකත්වය සහ පරාර්ථය මත. අපේ පැරණී ජීවන රටාව මදක් විමසා බලන්න. අනෙකා වෙනුවෙන් තමන් කටයුතු කල යුතු බව නේද එහි ගැබ් වෙලා තිබුණේ. ඉතිං අපි නවීන දේ සමාජයේ සංවර්ධනයට යොදා ගන්නා අතරම පුරාණ හොඳ දේ අමතක කරන්න ඕනෙද. අද ඔබ අවට දේශපේ‍්‍රමය, ජාති ආලය, ගැන කතා කරන පාලකයන් මේ කරුණු ගැන ඇයි කතා කරන්නේ නැත්තේ. ඔව්. ඔවුන් දන්නවා මේවැනි කරුණු සමාජය අවබෝධ කර ගත්තොත් ඔවුන්ගේ තක්කඩිකම් සමාජය අවබෝධ කර ගන්නා බව. ඔවුන්ගේ හොරකම්, දුෂණ,වංචා, මර්දනයන්ට සමාජය විරුද්ධ වන බව සහ සමාජය එවැනි මර්දනයන්ට බිය නොවන බව. අන්න ඒ නිසා තමයි පාලකයෝ අත්මාර්ථකාමී,මමත්වයෙන් පිරුණු සමාජයක් බිහි කරන්න උත්සාහ කරන්නේ. පාලකයන්ගේ අත්තනෝමතික ක‍්‍රියාවන්ට විරුද්ධ වුනොත් උඹලාට වෙන්නේ මේකයි, ඒ නිසා නොදැක්ක වගේ හිටපල්ලාඬඬ කියලා මතයක් හදලා ඔබව බය කරන්නේ. ඔබට වෙනදේ ගැන පමණක් සිතන්න සහ කල යුතු දේ ගැන නොසිතන්න හුරු කරන්නේ.
ඇත්තටම වඩා වැදගත් තමන්ට වෙන දේද, තමන් කලයුතුදේද, තමන් කල යුතු දේ අවශ්‍ය මොහොතේ ඉටු කෙරූ විට ප‍්‍රතිඵලය වෙනස් වන බව ඉහත සිදුවීම මගින් හොඳින් පැහැදිලියි. ඇත්තටම ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස, අයිතීන් අහිමි කරලා,වංචාව,දුෂණය, හොරකම නීති ගත කරලා තියෙන රටකට වෙනදේත් හිතන්න. ඒ වගේම එවැනි රටක පුරවැසියන් වශයෙන් කල යුතුදෙත් හිතන්න. හැබැයි ඉතින් හිත හිත ඉදලා විතරක් මදී. කල යුතු දේ කල යුතු මොහොතකයි අපි ඉන්නේ.
ඉතිං වෙනදේ ගැන විතරක් හිතමුද, කල යුතු දේ කරමුද?
---- මේඝ
0 comments:
Post a Comment