අපි කුමක් කළෙමුද?
>> Thursday, April 1, 2010
අපි කුමක් කළෙමුද?
කලුතර පාලමට උඩින් ගඟට විසි වුණු අමිල සඳරුවන් පුතුගේ සප්‍රාණික නිසල සිරුර දින කිහිපයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වයර්වලට අමුණා තිබිණි. වෛද්‍යවරු, හෙදියෝ ඔහුගේ පණ නල රැක ගැනීමට අපමණ වෙහෙසක් දැරූහ. ඔවුහු අසාර්ථක වූහ.
ඔවුහු මරණයේ මෝය කටින් මුහුදට ගසා ගෙන යමින් සිටි පුතුගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කළහ. ඔහුට පෙවී තිබූ කසල සේදී අපවිත්‍ර වූ ගඟ දිය ඔහුගේ සිරුර තුළින් එළියට ගැනීමට තැත් දැරූහ.
අපි ද ඒ වෛද්‍යවරුන් හා හෙදියන් මෙන් නොවෙමුද? ඔවුහු මරණයට එදිරිව සටන් කළහ. අපිද එසේ නොකරන්නෙමුද? නාසය මිරිකා හෝ අවසන් හුස්ම පොද පිට වන්නට නොදී රැක ගැනීමට තැත් කරමු.
එහෙත්.... අපි ජීවිතය වෙනුවෙන් කුමක් කරමුද?
සඳරුවන් පුතු මරණය වෙත යන ගමන ඇරඹුවේ කලුතර ගඟෙන් නොවේ. කිරිපිටිවලට අලුතින් බද්දක් පනවන විට ඔහු මරණය වෙත පියවරක් තැබීය. වී මෝල් හිමියන් කිහිප දෙනකුගේ ගතමනාව වෙනුවෙන් වෙළඳපොළ තුළ විකෘතියක් ඇති කරන විට ඔහු මරණය වෙත පියවරක් තැබීය. මිනිසුන් සතු විය යුතු නිදහස අහිමි කෙරෙන විට ඔහු මරණය වෙත පියවරක් තැබීය.
දස මසක් කුස දරා, කිරි පොවා, සුරතල් බලා අවසන පාලමට උඩින් ගඟට විසි කරන්නට තරම් අම්මා කෙනෙකු කෲර වීම සරල නැත. එය මිනී මැරුමක් නොවේ. අම්මාවරුන් සිටින්නේ දරුවන් මරා දැමීමට නොව දරුවන් ඉපැද්දීමටය. එබඳු අම්මා කෙනෙකු තම දරුවා මරා දමන අයකු බවට පත්වීම, ඇගේ මනස කෲර වීම ඇගේ වරදක් නොවේ. ඇයට ජීවත් වන්නට සිදු ව තිබෙන්නේ එබඳු සමාජයක නම්, ඇය එබඳු තත්වයකට පත්වීම ගැන ඇය තනිව වග කියන්නේ කෙෙස්ද?
අපි ජීවිතය වෙනුවෙන් කුමක් කරමින් සිටිමුද? සඳරුවන් දරුවා මව් ඇකයේ රඳවා තැබීමට අපි කුමක් කළෙමුද? කුමක් කරමුද?
-- SNIPER
0 comments:
Post a Comment