දමා ගනිමුද අපිත් ස්වයං වාරණ?

>> Wednesday, March 17, 2010




















ස්වයං වාරණ යනු කුමක්ද? ඒ ගැන කෙටියෙන් සඳහන් කරන්නේ නම් විවිධ කර්තව්‍යන් සම්බන්ධයෙන් තමන් විසින් තමන්ටම පනවා ගන්නා වාරණයන්ය. මෙසේ ස්වයං වාරණ දමා ගනු ලබන්නේ, තම කටයුතු නිසා යම් අගතියක් සමාජයට හෝ තමාට සිදු වන විට, එල්ල වන තර්ජන හා බලපෑම්වලින් බේරීමට, ලැබෙන්නා වූ වරප‍්‍රසාද හා තාන්න මාන්න, විවිධ වාසි නොලැබෙන්නේ නම් හෝ නොලැබීමට ඉඩ ඇත්නම් දමා ගන්නා වාරණයන්ය. මෙවැනි ස්වයංවාරණ පනවා ගැනීම් අද ලෝකයේ බොහෝ ක්‍ෂේත‍්‍රයන්ගේ දක්නට ලැබේ.
ලංකාවේ අපිට මෙම තත්වය අත්දැකීමට මේ වන විට ඉතා හොඳ අවස්ථාවක් පෑදී ඇත.අද ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජය තුල ජීවත් වන මනුස්සයන් නම් සත්ව කොට්ඨාශයේ සිට විවිධ ක්‍ෂේත‍්‍ර තුල මෙය මනාව විද්‍යාමාන වේ. තමන්ගේ අයිතීන් ඇස් පනාපිට නැති කරන විට. පැහැර ගන්නා විට, තමන්ට සත්‍ය තොරතුරු නොලැබී බොරු තොරතුරුවලින් අන්දන කොට, තම රටේ සම්පත් වංචාව, දුෂණය හොරකම මගින් පැහර ගන්නා විට, අසල්වැසියාට, ඥාතියාට පහර දෙන විට පහරදී මරා දමන විට, ජීවත් වීමට, ඉගෙනගැනීමට, ගැලපෙන රැුකියාවක් කිරීමට, හොඳ සෞඛ්‍ය සේවයක් ලබා ගැනීමට ඇති අයිතිය අහිමි කරන කොට සහ ඡුන්දය ඉල්ලීමට තියා සමාජයේ ජීවත්වීමටවත් ඉඩ නොදීය යුතු දඩුවම් ලබා දිය යුතු හොරු රැුලක් තමන්ගේ ඡුන්දය කොල්ල කන්න හදන කොට අද බොහෝ දෙනෙක් කතා කලොත් කියන්නේ කුමක්ද? ‘‘ ඕවා ගැන කතා කලොත් අපිටත් ඒ ටික තමයි. අපි හොයා ගත්තොත් අපි කනවා’’ යන පාඨයය. මෙය කියවන ඔබත් එසේ පවසා තිබෙන්නට පුලූවන් හෝ එසේ දහස් වාරයක් පුද්ගලයන් ප‍්‍රකාශ කරනවා අසා තිබෙන්නට ඇත. තමන්ට සිදුවන අසාධාරණය දැක දැක ඇස් කන් මුව වසා සිටින ස්වයං වාරණයක් ලෝකයේ තවත් තියෙනවාද?
මේ ස්වයං වාරණ තත්වය හොඳින්ම වටහා ගත හැකි, දැක ගත හැකි ක්‍ෂේත‍්‍රයක් අප අසලම තිබේ.ඒ මාධ්‍ය ක්‍ෂේත‍්‍රය තුලය. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුලින් මේ තත්වය ඉතා පැහැදිලිය. එය ඔබ මේ වන තෙක් දැක්කාද?. දැැක්ක දේ තේරුම් ගත්තාද යන පැනය ඔබගෙන්ම ඇසීය යුතුය. මදක් විමසා බලන්න. පසු ගිය ජනාධිපතිවරණයට පෙර පාලකයන් සම්බන්ධ විවිධ විවේචනයන්, ඔවුන්ගේ දුෂණයන්, වංචාවන්, අසමත්කම් ඉදිරිපත් කල මාධ්‍ය අද ඉන්න තැන.ඇතමුන් මේ වන විට යූ ටර්න් ගෙන ඇති අතර ඇතමුන් ජාමේ බේරා ගැනීමට කටයුතු කරනු ලබති. හොඳම උදාහරණය යම් රැුඩිකල් බවක් පෙන්වා ගෙන කටයුතු කල වෙබ් අඩවි. මේවා පසු ගිය කාලයේ පාලක පන්තියේ කටයුතු ගැන දැඩි විවේචනයක් එල්ල කරන ලදී. එහෙත් ජනාධිපතිවරණය අවසානයේ ආණ්ඩුව විසින් මුදා හල මර්දනය තමන්ටද එල්ල වේ යැයි සිතා තමන් විසින්ම ස්වෙච්ඡුාවෙන්ම බියවී අද ඔවුන් පාලක පන්තිය අමතක කර විපක්ෂය විවේචනය කරති. එම වෙබ් අඩවි අද බලන විට සිතෙන්නේ ලංකාවේ පාලක පන්තියක් නැති බව සහ සිටින්නේ විපක්ෂයක් පමණක් බවය. අවශ්‍ය තැන විවේචනය ඉදිරිපත් කිරීම හොඳ දෙයක් හා හොඳ තත්වයකි. එහෙත් එය අවංකව සිදු විය යුතුය. තමන්ගේ ප‍්‍රගතිශීලී බව හා රැුඩිකල් බවත් ආරක්ෂා කරගෙන ආණ්ඩුවේ උදහසටත් ලක් නොවී කටයුතු කිරීමට උත්සාහ දැරීම නම් වංචාවකි. එක් අවස්ථාවක දෙතැනක පය තබා සිටීමට උත්සාහ කරන කපටි වැඩකි. තම වාසිය තකා ස්වයංවාරණයක් පනවා ගැනීමකී. එම වෙබ් අඩවි දැන් නොකියා කියන්නේ කුමක්ද අපිට ආණ්ඩුව සමඟ ප‍්‍රශ්ණයක් නැත. අප ආණ්ඩුව දෙස බලන්නේවත් නැත, යන්න නොවේද.?

අනෙක් මාධ්‍ය තත්වය ගන්නටම දෙයක් නැත. ලංකාවේ විද්‍යුත් වේවා, මුද්‍රිත වේවා මාධ්‍ය ආයතන බොහොමයක් අයත්ව ඇත්තේ ව්‍යාපාරිකයන් පිරිසකටය. ඇත්තටම ලෝකයේම තත්වය මෙයයි. එම නිසා මෙම මාධ්‍ය තම අයිතිකරුවන්ගේ අභිලාෂයන් හා අරමුණු අනුව කටයුතු කල යුතුය. එම අයිතිකරුවන්ව පාලනය කිරීමට ආණ්ඩුවලට හැකියාව ඇත. ඔවුන්ගේ නීත්‍යානුකූල නොවන ව්‍යාපාරික ගණුදෙනු, බදු, රජය සමඟ පවතින ව්‍යාපාරික ගිවිසුම් හා වංචා දුෂණ සම්න්ධ පරීක්ෂණ මගින් හෝ විවිධ වරප‍්‍රසාද හා හිතවත්කම් මාර්ගයෙන් පාලකයන් මෙම ව්‍යාපාරිකයන් පාලනය කර ගනු ලබයි. එම ව්‍යාපාරිකයන් පාලකයන්ට අවශ්‍ය ආකාරයට තම මාධ්‍ය පාලනය කරනු ලබයි. ස්වයංවාරණ දමා ගනියි.

මෙම මාධ්‍ය ආයතන තුල කටයුතු කරන මාධ්‍යවේදීන්ගේ තත්වයන් කොහොමද?. තම ආයතනවල අයිතිකරුවන්ගේ බලපෑම් එල්ල වීමට පෙරම ස්වයංවාරණ පනවා ගන්නා අය අද වැඩි වශයෙන්ම දැකිය හැක. අද මත්පැන් බෝතලයකට පවා තම යුතුකම අමතක කරන මාධ්‍යවේදීන් ගැන ක්‍ෂේත‍්‍රය තුල විවිධ කතා බහ ඇත. ඇත්තටම ඔවුන් මාධ්‍යවේදීන්ද යන ප‍්‍රශ්ණයද පැන නගී. එසේම හිතවත්කම් මත, වරප‍්‍රසාද හා තමන්ට ලැබෙන් වාසි නිසා තම වගකීම පැහැර හරිමින් මාධ්‍ය ගෞරවය කෙලසන කී දෙනෙක් අද ලංකාවේ මාධ්‍ය ක්‍ෂේත‍්‍රය තුල සිටිනවාද?. වරප‍්‍රසාදවලට ගිජුවී තමන් විසින්ම ස්වයං වාරණ දමා ගන්නා අයුරු කොපමණ දැකිය හැකිද.

මෙම තත්වයන්ට අමතරව පාලකයන්ගේ මර්දනයට ලක්වී හෝ ලක්වේයැයි බිය නිසා ස්වයං වාරණ දමා ගන්නා පිරිසද විශාලය. ඔවුන් ස්වේච්ඡුාවෙන්ම බිය වී මෙම ස්වයං වාරණයට ගොදුරු වී ඇත. තම සහෝදර මාධ්‍යවේදීන්ට, මානව හිමිකම් ක‍්‍රියාකාරීන්ට, කම්කරුවන්ට, ප‍්‍රගතිශීලීන්ට, ශිෂ්‍යයන්ට, දෙමල ජනතාවට සිදුවන අසාධාරණකම් දැක දැක ඔවුන් තම වාරණ සීමාව තුල කටයුතු කරමින් ජාම බේරා ගැනීමට උත්සාහ දරන අයුරු දකින විට කනගාටුදායකය.

මෙම තත්වයට විරුද්ධය කටයුතු කරන, ස්වයං වාරණ පනවා නොගෙන තම යුතුකම වෙනුවෙන් පෙනී සිටින නිර්භයව ලියන සහ කියන මාධ්‍යවේදීන් අතලොස්සක් හා මාධ්‍ය කීපයක් දක්නට ඇත. එසේම ඔවුන්ට හා එම ආයතනවලට වට කර ගෙන පහර දෙන අයුරුද දැකිය හැක. එහෙත් නොසැලී කටයුතු කිරීමට ඔවුන් දරන වෑයම ද ප‍්‍රශංසනීයය. එසේම අනෙක් ක්‍ෂේත‍්‍ර තුලද මෙය දැකිය හැක. අසාධාරණය විරුද්ධව නැගෙන හඩ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් අහිමි කිරීමට විරුද්ධව නැගෙන හඩ නැවතී නැත. එය නවතා දැමීයද නොහැක. එහෙත් ඒ හඩ මේ මොහොතේ ප‍්‍රමාණවත් නැත. එය මෙයට වඩා උස් කළ යුතුය. එම හඩට තවත් තීව‍්‍රෘ කල යුතුය.
මේ උදාවී ඇති මොහොත ස්වයං වාරන පනවාගෙන ඉන්න හැකි කාලයක්දැයි මදක් විමසා බලන්න. අනෙකාට කෙලවුනත් කමක් නැත යනුවෙන් සීතා ගන කටයුතු කල හැකිද. අපිටත් අනිවාර්යෙන්ම කෙලවෙන්නට නියමිතයි නේද. තවත් අපි වැනෙනවාද? අපේ අයිතීන් උදුරා ගන්නා විට ඒ පැහැර ගන්නේ මගේ අයිතීන් කියා මගේ කොටස වෙන් කර ගන්නට හැකි සමාජයකද අපි ඉන්න කියා විමසා බලමුද? තම ඉඩමෙන් එක බිම් අගලක් අල්ලා ගෙන අසල්වැසියා වැටක් ගැසුවොත් මරා ගන්නා අපි අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් උදුරා ගන්නකොට, අපේ රටේ සම්පත් හොරකම් කර මින් තම පවුල් තර කරන කොට නිකම්ම ස්වයංවාරණ දමා ගෙන ඉන්නවාද? මදක් සිතන්න. ඔබේ ඉඩමෙන් කොටසක් වෙනත් කෙනෙක් අයිති කර ගන්න ගියොත් ඔබ මේ ආකාරයට කටයුතු කරනවාද. එහෙනම් සිතන්න. මේ ඔබේ ඉඩම හෝ ඔබට අයිති දේපලක් තරම් සුළු දෙයක් නෙමෙයි. මේ අපේ රටයි. අපේ ¥දරුවන්, මුණුබුරු මිනිපිරියන් අනාගතයේ ජීවත් වන රටයි. මොනවා වුනත් කමක් නැහැ කියා අපිට මග හරින්න බැරි ඒ නිසයි. මොකද කවදා හරි අපිට හරි අපේ දරුවන්ට හරි මේ ඉරණමට මුහුණ දීමට සිදු වන බව ඒකාන්තයි. මේ ඉරණම, මේ සෝචණීය තත්වය අපිට දැන් උරුම වෙමින් යන්නේ. එයින් මිදීමට කාටවත් බැහැ. එකම විසඳුම අපිට පටවා තිබෙන හා පටවමින් තියෙන ඒ කාලකණ්ණි ඉරණම වෙනස් කිරීමයි.

ඉතිං අපි තවත් ස්වයං වාරණ තුල ජීවත් විය යුතුද?. ජීවත් විය හැකිද? ඇත්තටම බැහැ. බොරුවට හිත රවටා ගැනීමට හෝ හිත සනසා ගැනීමට, වගකීම්වලින් මීදීමට මාර්ගයක් ලෙස ස්වයං වාරණ පනවා ගෙන ජීවත්වීමට හැක්කේ ඉතා ටික කාලයටයි. වැනි වැනී සිටීම දැන් කාලය නොවේ. නිවැරදිව නොවැනි දෙපයින් නැගී සිට වැනෙන පිරිසගේ වැනීම ද නතර කිරීමට දැන් අවස්ථාව පැමිණ තිබෙන්නේ. එය මඟ හැරිය නොහැකි සත්‍යයක්. ඉතිං ස්වයංවාරණයට වාරණයක් දැමීමට දැන් කාලය පැමිණ ඇති බව සිතන්න. ‘කාලෝ අයං තේ’

ඉතිං අපි ස්වයංවාරණවලට ආයුබෝවන් කියමුද?

-----මේඝ


0 comments:




  © Blogger templates Sunset by Ourblogtemplates.com 2008

Back to TOP