බූරුවාගේ කොලම - බූරුවන්ගේ දේශයේ සිට ...

>> Thursday, March 4, 2010














බූරුවාගේ කොලම

බූරුවන්ගේ දේශයේ සිට ...



“සිහින තුනක් දුටුවෙමි මම තුන් දවසක් එක දිගටම”



පළමු හීනය -

ඩිස්පෙන්සරියේ සිට රජයේ රෝහල් දක්වාත් පෞද්ගලික රෝහල් වලත් එකවරම රෝගීන්ගේ සංඛ්‍යාව ඉහල ගියා. අවසානයේ ඒ සංඛ්‍යාව හැට ලක්ෂයක් බව තීරණය කෙරුණා. තවත් කොටසක් මානසික රෝහල් වලත් පිරෙන්නට වුණා. පුදුමයට කරුණක් වුණේ මේ හැට ලක්ෂයටම එකම රෝගයක් වීමයි. ඒ ඔළුව ඇතුළෙ මොළයක් නැති බව වෛද්‍යවරු ප්‍රකාශ කිරීමයි. මට හීනයක් වුණත් හීන්දාඩිය දැම්මා. මොවුන්ගේ මොළය සැඟවුණේ කොහිදැයි වෛද්‍යවරු කඩිමුඩියේ සොයන්නට වුණා. එහිදී සිරුරේ බහිස්‍රාවීය පද්ධතිය ඔළුව කරා ගමන් කර ඇති බවත් මොළය පසුපස තට්ටම් දක්වා ගමන් කර ඇති බවත් වෛද්‍ය වාර්තා වල සටහන් කෙරුණා. මේ පද්ධති දෙක තිබුණු තැනට ගෙන ඒම සඳහා කුමක් කළ යුතු දැයි සිතාගත නොහැකි වූ වෛද්‍යවරු සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාලව කැඳවා විමසන්නට වුණා. ඔහුද එහිදී ඉස්සා මෙන් ලිස්සා ගිය නිසා ඉස්සාගේ අසූචිද ඇත්තේ හිසේ බැවින් අමාත්‍යවරයාට ‍ද මේ රෝගයම වැළඳී ඇතැයි වෛද්‍යවරු තීරණය කළා.

මේ පිළිබඳව සොයා බලන්නට චීනයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ගෙන්වන්නට වුණා. සුපරික්ෂාකාරීව රෝගීන්ව පරීක්ෂා කළ වෛද්‍ය කණ්ඩායම ඖෂධ ලෙස තීරණය කළේ මොවුන්ට අවශ්‍ය දේවල් ලබා දෙන ලෙසයි. මේ අනුව ඔබලාට කුමක්ද අවශ්‍ය...? විශේෂඥ වෛද්‍ය කණ්ඩායම ඇහුවා. “ගෙවල්ද....? වාහනද...? රස්සාවල්ද...? සල්ලිද...? අරක්කුද....? රට යන්ඩද....? ගෑනුන්ට පිරිමිද...? පිරිමින්ට ගෑනුද....? සුඛෝපභෝගී ජීවිතයක්ද...? ළමයින්ට පාසැල්ද...? ප්‍රශ්න පත්‍ර නිවැරදි වෙලාවට බෙදන්නද...? සෙල්ලං කොරන්ඩ ක්‍රීඩා පිට්ටනියක්ද...? වීදුරු කටු නැති සේලයින් බෝතල්ද...? කල් ඉකුත් නොවූ ඖෂධද...? අඟල් තිස් දෙකේ එල්. සී. ඩී ටීවී එකක්ද...? පිරිමින්ට කැරෝකේ එකක සුමානයක්ද...? ගෑනුන්ට රත්තරං බඩුද...? සාරිද...? මුළු තැන්ගෙයි උපකරණද...? මොන කෙහෙල් මලක්ද ඔයගොල්ලන්ට ඕන...?”

“අපිට ඕනෙ ප්‍රජාතන්ත්‍රවාදය......” සියල්ලම එක සේ පිළිතුරු දුන්නා.

“දැං කොහොමද ඔයාලට ඕන ප්‍රජාතන්ත්‍රවාදය අපි ලබා දෙන්නෙ..?”

“ජනවාරි 26 තියපු ජනාධිපතිවරණයේ අපි දාපු ඡන්ද පත්‍රිකා අපිට ආපහු ලබා දෙන්න..” හැට ලක්ෂයම කිව්වා.

“එතකොට මොළේ පුකට යාමයි පුක මොළේට ඒමයි නැවතී නැවත යථා තත්ත්වයට පත් වෙයිද..” විශේෂඥ වෛද්‍යවරු ඇහුවා.

“ඔව් නිසැකවම. අඩුම තරමේ එතකොට අපිට මොළයක් තියෙනවා කියල හරි අනිත් හතලිස් ලක්ෂය කියයි..”



දෙවන හීනය -

මාධ්‍ය නිදහස නැති වීමත් මාධ්‍යවේදීන් පැහැරගෙන යාමත් නිසා කෙළකෝටියකට මළ පැනල හිටිය මං බිබී හිටිය සිගරට් කොටයෙන් ගිනි තියන්ඩ මොකක් හරි හෙව්වා. ගිනි තියන්ඩ ළඟ පාත මොකුත් නැති නිසා ගින්නකට පනින්ඩ ඕනෙ කියල තීරණය කරපු මම අලුත් කඩේ උසාවිය ළඟ තියෙන උද්ඝෝෂණය ආරංචි වෙලා ඒකට ගියා. පොලිස් රැකවරණය මැද්දෙ මැරයන්ගෙන් හුජ්ජ යනකං ගුටිකාලා ආපහු එද්දි ප්‍රේමදාස මහත්තයගෙ පිළිරුවටත් බලං ඉන්ඩ බැරුව අනිත් පැත්ත හැරුණා. කඳුළු ගෑස් වලින් බඩේ ගෑස් වලට තවත් ගෑස් ටිකක් එකතු කරගෙන අමාරුවෙන් එද්දි තමයි මතක් වුණේ ගෙදර ගෑසුත් ඉවර විත්තිය. ගෑස් මිලත් වැඩි කෙරුවනේ කියල හිතිං බැන බැන එද්දි පොලිස් බූරුවොංගෙ ගෑසුත් බැලුවා.

හුජ්ජ යනකං ගුටිකාලත් හදිසියේම ඇතිවුණු උහුලා ගත නොහැකි මුත්‍රා බරක් නිසා ළඟ තිබුන ගහක් මුලකට ගිහිං මුත්‍රා කොරන්ඩ පටං ගත්තා. ලේ රතු පාටට මුත්‍රා පිටවෙද්දි හීනයක් වුණත් මට හීන්දාඩිය දැම්මා. මුත්‍රා පාර ලතාවකට ගහ මුල දිගේ කකුළ යටින් බේරෙද්දි රතු පාට මුත්‍රා පාර එකපාරටම සාටකයක් බවට පත් වුණා. උගුරකට වේළිලා කෙළ ගිලින්ඩත් බැරුව තෘෂ්ණිම්භූත වෙච්ච මං එතනිං පැන ගන්ඩ හිතාගෙන කකුළක් පස්සට තිබ්බා. එකපාරටම මුත්‍රා සාටකය ගහේ අත්තක දැවටී තොණ්ඩුවක් ලෙස දෘශ්‍යමාන වී මගේ බෙල්ලට වැටුණා. කවදාවත් හීනෙකිං වත් හිතපු නැති ‍දෙයක් හීනෙං වගේ පේන්ඩ ගත්තම කොහේදෝ තිබුණ මුත්‍රා බරක් ආයෙත් ආවා. දඟලන්ඩ දඟලන්ඩ සාටක තොණ්ඩුවට හිරවුණු මං පණ බේරගන්ඩ මොනව හරි කියන්ඩ ඕන නිසා....

“මං චන්දන සිරිමල්වත්තල වගේ වෙන්නෙ නෑ...ප්‍රගීත් එක්නැලිගොඩල වගේ වෙන්නෙ නෑ... ආයෙත් උද්ඝෝෂණ වලටත් යන්නෙ නෑ...” කියල කිව්වා.

එතකොට එකපාරටම මාව බිමට වැටුණා. පහුවදා උදේ මං නැගිට්ටම අම්මා කිව්වා මං හීනෙං බය වෙලා කෑගැහුවෙ “..බුදු අමුමෝ මහින්ද රජපක්ෂ මිනී මරනවෝ..” කියල ලු. මං කිව්වා පිස්සුද අම්මේ ඒක හීනයක්. සංවේදී මිනිස්සු එහෙම කොරනවද කියලා. එතකොටම අම්ම ගත් කටටම කියපිය සමහර හීන හැබෑවෙනව පුතේ කියල.



තෙවන හීනය -

කවදාවත්ම අහල තිබුනෙ නැති සද්දයක් එකපාරටම ඇහෙන්ඩ පටං ගත්ත නිසා මං එළියට බැහැල මොකද්ද වෙන්නෙ කියල බැලුවා. ගිය අවුරුද්දෙ මැයි 18 ප්‍රභාකරන්ව මරපු සතුට සමරන්න අල්ලපු ගෙදර කස්ටිය දිගටම දාගෙන හිටපු සිංහ කොඩියෙන් සිංහයා එළියට ඇවිල්ල කෑගහනව දැක්කම හීනයක් වුණත් මට හීන්දාඩිය දැම්මා. නහුතෙටම මළ පැනල හිටපු සිංහයා පංචායුධ කුමාරයගෙ ලොකු කටවුට් එකක් දිහා කේසර පීර පීර බලාගෙන හිටියා. අතේ තිබුණු කඩුවෙන් දෙතුන් පාරක් බිමට ඇනපු සිංහයා වාවාගත නොහැකි කෝපයකින් දුවන්නට වුණා. කවුරුත් ළං වුණේ නැතත් සිදුවන ආශ්චර්යයට මහත් සේ ඇලුම් කළ මං සිංහයාගේ පස්සෙන්ම වැටුණා.

කං කං බූරු සිං සිං ‍ඤෝරු....දුවලා දුවලා ගිහිල්ලා පංචායුධ කුමාරයගෙ කනෙන් ඇදගෙන එන්ඩ කිව්ව වගේ සිංහයා එකපාරටම පංචායුද කුමාරයාගේ කනෙන් ඇදගෙන එළියට ආවා. භයෙන් බිරාන්ත වෙලා හිටපු කුමාරයට මුත්‍රා වගේ දෙයක් පිටවුණා.

“කෝ ආයුධ...?” සිංහයා ඇහුවා.

“මොන ආයුධද...?” කුමාරයා අඬන්න වගේ උත්තර දුන්නා.

“යකෝ ඔක්කොටම එක නීතිය...උඹට විතරක් ආයුධ තියාගන්ඩ පුළුවංද..?” සිංහයා අඩියක් උස්සලා පොලවෙ ගැහුවම විසිවුණු දූලි වැලි වලින් වැලි කැට ටිකක් කුමාරයගෙ ඇස්වලට ගියා. කඳුළු බේරි බේරී හොටු හූර හූර කුමාරයා...

“මං ළඟ ඇති ආයුධයක් නෑ සිංහ රාජෝත්තමයාණෙනි...” කියා දණින් වැටෙන්න වුණා.

“යකෝ තොපේ ආණ්ඩුව මීටත් වඩා පාහර විදියට තමයි අඟුලානෙ කොල්ලො දෙන්නෙක්ව අල්ලගෙන ඇවිල්ලා ආයුධ ඉල්ලලා මරල දැම්මෙ”... සිංහයාගේ උල් රදනක දත් දෙකක් එකපාරටම එළියට ආවා.

“ඇයි උඹ ප්‍රසිද්ධියෙම කටවුට් ගහගෙන ඉන්නෙ... දැං දීපං ...තෝ තනියෙන් මවු බිම රකින හමුදාවටවත් නැති ආයුදේ... දීපිය යකෝ ඉතිං.....”

“අනේ මං ළඟ ඇති ආයුධයක් නෑ....මට තියෙන එකම ආයුධය බොරු කියන මේ කටයි... ඇට නැති දිවයි විතරයි...මං ඔය බොරුවටනෙ ඕක ගහගෙන ඉන්නෙ ඉලෙක්ෂන් එකට පොඩි ෂෝ එකක් දාන්ඩ..අනේ ඔබතුමා මාව අතාරින්න..මම ජනාධිපතිතුමාට කියලා ඕන දෙයක් ඉල්ලලා දෙන්නං. මේ දවස් වල ජනාධිපතිතුමා මං කියන ඕනම දෙයක් කොරනවා..අපි සිංහකොඩිය ඇතුළෙ ඔයාට ඉන්ඩ රත්තරං වලින් කූඩුවක් හදල දෙන්ඩද....?” කුමාරයා ඇහුවා.

සිංහයා සිංහ සෙයියාවෙන් මදක් බලා හිඳ හෙණ පුපුරන හඬින් “පාහර බල්ලා.........!” යි කියමින් කුමාරයාගේ කොණ්ඩය සිංහයාගේ අත තිබූ කඩුවෙන් කපල දැම්මා. ශේවිං ක්‍රීම් නැතුවම කුමාරයාගේ රැවුලත් කපපු සිංහයා යටි ඇන්දේ රදනක දත් දෙක උල් කරගෙන බලාගෙන හිටියා. ඒ වෙලාවේ භයටම කුමාරයාගේ දිව ගිලෙන්ඩ ඇතැයි කියල හීනෙංම හිතුණේ වැඩි සම්භාවිතාවයක් දිව කැපීමට තිබුණයි කියල මට තේරුන නිසයි. කොන්ඩෙයි රැවුලයි නැතිව කාටවත් අඳුනගන්න බැරිව පංචායුධ කුමාරයා “කතානායකතුමනී....” කිය කියා පිස්සුවෙං කෑ ගගහ දුවන්ඩ පටං ගත්තා.



සිංහයා ඇස් රතු කරගෙන දත් උල් කරගෙන සිංහනාද දිදී ඉස්සරහට ඇදෙන්ඩ වුණා. ...ඈත බැට් පිත්තක් අතින් ගත් සනත් ජයසූරියය. මෑත කඩුවක් අතින් ගත් සිංහයාය. ඈත මාතර ජනතාවගේ ඔල්වරසන් මැද මැති සබයට එන්නට වලිකන සනත් ජයසූරියය. මෑත කෑගසමින් දූලි වැලි නංවමින් ඉදිරියට ඇදෙන ජාතික කොඩියෙන් එළියට බට සිංහයාය. හීනයක් වුණත් හීන්දාඩිය දාගෙන චිත්‍රපටියක් නරඹනවා වගේ ඇස් අදහගන්ඩ බැරුව මං බලාගෙන හිටියා. ජයසූරියත් සිංහයාත් අතේ දුරින් මුහුණට මුහුණ හමුවන වෙලාවේ බලං හිටපු මිනිස්සුත් අත් දෙකෙන් මුහුණ වහගත්තා. කෑගගහ දූලි වැලි නංවමින් සිංහනාද දුන් සිංහයා එකවරම අතේ තිබුණු කඩුවෙන් ජයසූරියගෙ අලුත්ම රීබුක් පිත්ත දෙකට පැලෙන්ඩ පාරක් ගැහුවා. එකපාරටම භය වෙච්ච ජයසූරිය “කොහොමද මං දැං ක්‍රිකට් ගහන්නෙ...?” කියල ඇහුවා.

“යකෝ ක්‍රිකට් ගහන්ඩයි ඡන්දෙ ඉල්ලන්ඩයි දෙකම තොට එකපාර කොරන්ඩ ඕනෙද...?” සිංහයා ඇහුවා.

රටපුරා සජීවී වීඩියෝ දර්ශන මේ පිළිබඳව නිකුත් වෙද්දී නුවර ඉඳං ටීවී බලපු මුරලිදරන් එකපාරටම සනත් අයියට කරදරයක් යැයි කියමින් බ්‍රෙට් ලී ගේ පන්දුවක වේගයෙන් සිංහයා ඉදිරියේ ප්‍රාදුර්භූත වුණා. රැස්වෙලා හිටපු සෙනගට හිනාපාරක් දාපු මුරලිදරන් “ඔබේ ඡන්දයෙන් මව්බිම දිනවමු”..යැයි අතක් මිට මොළවා කියන්ඩ වුණා. මළ ඕවර් ගිය සිංහයා මුරලිදරන්ව කකුළ් දෙකෙන් උස්සලා ඈතට විසි කළා. මුරලිදරන් ඈත අහසේ ඉගිල්ලී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගණයට වැටුණා. සිහි එලවා ගත නොහැකි වූ මුරලිදරන් දාන දාන හැම බෝලයක්ම ඩැරල් හෙයාර් අම්පයර් නෝ බෝල් ලෙස සටහන් කරද්දී අර්ජුන රණතුංගවත් ඒගැන ප්‍රශ්න නොකර අහක බලාගෙන හිටියා.

සිංහයාගේ මාර්ගයට අතුරුපාරකින් වැටුණු එයම පතා බතුත් නොකා යහනට වැදී වැදහුන් ගීතා කුමාරසිංහ සිංහයාව දැක එතනම ඉද්ද ගැසුවාක් මෙන් වුණා. සිංහයා ගීතා ළඟ නැවතී බලාගෙන හිටියා ගීතා දන්න හැට හතරට තවත් හැට හතරක් එකතු කරගෙන හාවභාව ලීලාවෙන් අඟර දඟර දාන්නට වුණා.

“උඹ කවුද..”? සිංහයා ඇහුවා.

“ඇයි දන්නෙ නැද්ද මං මේ පාර ඉලෙක්ෂන් එකට ඉල්ලනවනේ...ඇයි මම පාලම යට හිටියෙ..”

“යකෝ පාලම යට හිටියම පාර්ලිමේන්තුවට යන්ඩ පුවවංද...?” සිංහයා ඇහුවා.

“චිකේයි..................! මෙන්න මෙයා කැත කතා කියනවා...” යි කියාගෙන ගීතා සරත් අමුණුගම හොයාගෙන අඬ අඬ දුවන්නට වුණා. මේක දැකපු ජැක්සන් එකපාරටම එතනට පැමිණ දැං අපිට කට්ටිය මහින්දගෙ නලා කාරයො කියල කිව්වට අපි රට ගැන හිතන කලාකාරයො. ඔබතුමා අබා බැලුවද..?

“තෝ අබා කෙරුවට මිනිස්සුන්ව බබාල කොරන්ඩ බැහැ යකෝ....” සිංහයා බෙරිහන් දුන්නා.

“නෑ..නෑ..නෑ.. මේ දැනුත් මං දුටු ගැමුණු එකේ ෂූටිං යන ගමං..අපි රට ගැන හිතල මෙව්ව කොරන්නෙ. හැන්දෑවට මහා සිංහලේ වංශකතාව.. මං අබා කොරෙත් රට ගැන හිතලා..”

“හරි එතකොට කෝ යකෝ පබා..”! සිංහයට මළම පැනල ඇහුවා.

එනපොට හොඳනැති බව දැනගත් ජැක්සන් ඇන්තනිට එකපාරටම තමන්ට පැවරුණ මැතිවරණ රාජකාරියක් මතක් වෙන්ඩ ගත්තා. “මට දැං දුටුගැමුණු වල ෂුටිං යන්ඩ තීනවා..” . ජැක්සන් ෂේප් එකේ මාරු වෙද්දි ළඟ හිටපු නංගි කෙනෙක්ට ‘මං සිංහයාට බයයි නංගියේ...’ යැයි කියාගෙන ගියා. එකවරම ඌරු ජුවල් නැගපු සිංහයා ඇස් උඩදාගෙන කට ඇරගෙන අහසට ගොරවන්ඩ වුණා. මේ අතර නාමල් රාජපක්ෂයි යාළුවෙකුයි සිංහයා යන පාර දිගේ ඉස්සරහින් එන්ඩ වුණා. කුපිත වී ඉදිරියට එන සිංහයා දැකපු නාමල්ගෙ යාළුවා ළඟ තිබුණු ගහකට නැග්ගා. ගස් නගින්ඩ බැරි නාමල් මැරුණවගේ බිම නිදා ගත්තා. නාමල් ළඟට පැමිණි සිංහයා වටයක් කැරකී කෑමොර දෙමින් පොළවට අනිමින් දූලි නංවමින් යන්නට වුණා. ටික වෙලාවකින් ගහෙන් බිමට බැසගත් යාළුවා සිංහයා උඹට මොකද කිව්වෙ කියල ඇහුවා.

“තාත්ත කළ දේ පුතා නොකළොත් ඌ නොට්ටිගෙ පුතා කියල සිංහයා කිව්ව..” යි උත්තර දුන්නා.


----- බූරුවා.

0 comments:




  © Blogger templates Sunset by Ourblogtemplates.com 2008

Back to TOP