තුනෙන් දෙකක් නොලැබීම

>> Sunday, May 2, 2010





















බිව්වා නේද වදකහ සුදීය..


මෙම වදන් පෙල රැගත් ගීතය මෙයට බොහෝ කලකට පෙර ජනප‍්‍රිය වූ බයිලා ගීතයකි. බොහෝ දෙනෙක් මෙම ගීතය අසා ඇතත් එම ගීතයට හේතුවූ කරුණ දන්නේ නැත. කොහොමටත් අපේ රටේ හුඟ දෙනෙක් ශබ්ද රසය ගැන මිසක් අර්ථ රසය ගැන අවබෝධයක් ඇත්තේම නැත. ලබා ගැනීමට උත්සාහ ගන්නේද නැත. 50 දශකයේ පමණ සිදුවූ සූර්යග‍්‍රහණයක් අවස්ථාවක වදකහ ඉස්ම බීවූ විට ඉතා පැහැපත් රූපයක් ලැබෙන බව ජොතිශ්‍යවේදියෙක්ගේ ප‍්‍රකාශයකට එකල පුවත්පත් වල ලබා දුන් ප‍්‍රචාරයක් හේතුවෙන් මෙරට බොහෝ දෙනෙක් වයස් බේදයක්, ආගම් බේදයක්, දැනූම සම්බන්ධ බේදයක් නොසලකා රැුවටී එම සූර්යග‍්‍රහණය අවස්ථාවේදී වද කහ බී තිබේ. ඉන් පසු සිදුවී ඇත්තේ පාචන තත්වයන් වැලදීමෙන් මේ ශ‍්‍රී ලංකාවේ රෝහල් පීරී යාමය. ලැබූණු රූප සම්පත්තියක් නම් නැත. සිදු වී ඇත්තේ බඩයාම පමණි. මෙය උපහාසයට ලක් කරමින් ඉහත බයිලා ගීතය රචනා වී තිබේ.
දැන් වන විට මෙම උතුම් රටේ උද්ගතවී ඇත්තේද එවැනි තත්වයකි. ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය මගින් දැක්වූ සංදර්ශණය රැුවටුණු අපේ රටේ ඇතැම් බුද්ධිමතුන්, කලාකරුවන් යැයි කියා ගන්නා කලා ශිල්පීන්, වෘත්තිකයන්, ඇතුළු බොහෝ දෙනා සුබ අනාගතයක් පතා ගෙන තමන්ට ඇති එකම අයිතිය වූ ඡුන්දය පාවිච්චි කලේය. ලැබුණු සුබ අනාගතයක් නම් නැත. අනාගතය අනා ගැනීම නම් සිදු විය. ඉන් පසු මහ මැතිවරණය එලඹියේය. අපේ රට පාලනය කරන රජ තෙමේ මාධ්‍ය මගින් රට ඓශ්චර්යමත් ශ‍්‍රී ලංකාවක් පාඨය ගෙනාවේය. එය ඉටු කරලීමට මුලින් තුනෙන් දෙකක් ඉල්ලීය. ඉන් පසු ශක්තිමත් එකක් ඉල්ලීය. මාධ්‍ය සංදර්ශනය ආරම්භ විය. කොටසකගේ ඇස් එයින් නිලංකාර කරගෙන ගොස් ඡුන්දය දී ඓශ්චර්යමත් භාවය පැතීය. කොටසක් ඡුන්දය නොදා ගෙදරට වී සිටියෝය. ප‍්‍රතිඵලය දැන් කවුරුත් දනී. තුනෙන් දෙකක් නොලැබුණද එය හදා ගන්නා බව රජ තෙමේ මැතිවරණය අතුරතුර පැවසූ අතර එය එසේම සිදු වන බවට දැනට ලකුණු පහල වී තිබේ. රජු තුනෙන් දෙක සාදා ගන්නා අතර ජනයාට ලඟ ඇති තුනද නැති වන බවට ඕනේ තරම් සාධකද දැනට මතුවී ඇත. ආසියාවේ ඓශ්චර්යය නම් එයය. තමන් විසින් තම තුනද නැති කර ගත් මිනිසුන් සිටින රටක් බවට පත්වීමය.
දැන් අපට ඇසීමට සිදුවී ඇත්තේද, අනාගතයේදී ඇසීමට සිදු වනු ඇත්තේද ඉහත ගීතයේ පාඨයය. .... බිව්වා නේද වද කහ සුදීය.. අනේ බිව්වා නේද වද කහ සූදීය..

--- මේඝ

0 comments:




  © Blogger templates Sunset by Ourblogtemplates.com 2008

Back to TOP